දිරිය දියණිය...

Sunday, January 17, 2010 by sajith

මම මේ ලිපිය දැක්කෙ අමිත් පුස්සැල්ල සර්ගේ සැසිප් පත්තරේ තිබිලා. ගොඩදවසක ඉදන් මේක බ්ලොග් එකේ දාන්න ඕනකම තිබුනත් ටයිප්කරන්න තිබ්බ කම්මැලිකම හින්දා දාන්න බැරි උනා. ඔන්න ලිපියේ කිසිම වෙනසක් නොකර මම ඒ විදිහටම පෝස්ට් කරනවා. මොකද මේ ලිපියෙන් අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.

curie ටවුන්හෝල් එකට ආවා වැඩ කිහිපයකටම. වෙනද වගේ නෙමෙයි පාර හරි කලබලකාරියි. පාර පුරා පොලීසියෙන්. වැඩිපුර පොලිස් කාන්තාවෝ. මොකක්ද මේ ජරමරේ? වැඩේ දැක්කෙ එතකොටයි. මෙන්න පෝස්ටර් එල්ලගත්තු කාන්තාවො රංචුවක් ගිරිය පුප්පගෙන කෑ ගහනවා "කාන්තා අයිතිවාසිකම් දියව්. අපට හිමිතැන දියව්. පුරුෂ ආධිපත්‍යයට වැට බඳිමු." වැඩේ හරි අපූරුයි. මට ටිකක් බයත් හිතුනා. තනිකරම කාන්තා ගංඟාවක්. කොහොමත් සීයක් විතර හිටියා. ඉස්සරහා ආසනේ හිටපු මගේ බිරිඳ උජාරුවෙන් මා දිහා බැලුවා. කොහොමද අපේ වැඩ කියලා හිතෙන් කියනවා මට ඇහුනා. වාහනේ උන්දැලා ලගින් යද්දි දත් විරිත්තාගෙන මා දිහා එබුනේ ගිලින්න වගේ. ඒ පාර නම් මට දාඩිය දැම්මා. කොහොම නමුත් ඒ කලබල අස්සෙ මට සුන්දර කාන්තාවක් මතක් උනා. එයා තමයි මාරි. 'මාරිට වෙච්ච අසාධාරණ දිහා බැලුවහම මේවා මොනවද?' ම්ං වයිෆ්ට කිව්වා. 'කව්ද කව්ද ඒ මාරි?' ඒ පාර ප්‍රශ්න වැලයි. උත්තර දීපල්ලකෝ ඕන්...

පෝලන්තය කියන සුන්දර රටේ ඉපදුන මාරි කියුරි දිරිය දියණියක්. ඉගෙනීමට අති දක්ෂ දැරිවියක්. අවුරුදු 17 වන විටදී පවා ඇය ප්‍රංශ හා රුසියන් භාෂාවල පරතෙරට පැමිණුනා. පෝලන්තයේදී දක්ශතම ශිෂ්‍යාවට හිමිවන රන් පදක්කමින් ඇගේ සුන්දර මුහුන ආලෝකමත් වූවත් ඇය ඉදිරියේ තිබුණේ කෲරත්වයේ දොර‍ටුවක්. ඇයට පෝලන්ත විශ්ව විද්‍යාල සියල්ලෙහිම දොර‍ටු වැසුනි. හේතුව රුසියන් අධිරාජ්‍යවාධීත්වයෙන් ගිලගත් පෝලන්තය තුල කාන්තාවට උසස් අධ්‍යාපනය තහනම් වීමයි.මාරි බිඳ නොවැ‍ටුනි. දැවැන්ත රුසියන් දඬු මුඟුරු හමුවේ වීදුරුවක් මෙන් කඩා නොවැ‍ටුණි. ඒ වෙනුවට ඇය වානේ කඳක් මෙන් ශක්තිමත් වුනි. පසුව ප්‍රංශයට ගිය ඇය තම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කලාය.

සරසවියේදී ඇයට පියරේ නම් වූ තම ආදරවන්තයා හමුවුණි. තම ජීවිතයට සරදම් කල මිනිසුන්ගේ ජීවිත වනසා දමන පිලිකා සෛල මැඩිය හැකි බලගතු ඖෂධයක් සෙවීම මේ තරුණ යුවලගේ අභිප්‍රාය විය. බෙලෙක් වහලකින් යුත් පුංචි නිවසක් හදාගත් ඔවුන් වේදනාවන් ඉවසාගත නොහැකිව මරණය පතන මිනිසුන්ගේ විලාප හඬට සදහටම තිතක් තැබිය හැකි මගක් සොයන්නට ජීවිතය කැප කරන ලදි. කැපවීම සරුසාර විය. පිළිකා සෛල නැසිය හැකි බලගතු විකිරනශීලි පොලෝනියම් මූලද්‍රව්‍යය සොයාගැනුනේ එහි අග්‍රඵලයක් ලෙසය.මේ උදාර මෙහෙවර වෙනුවෙන් 1903 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔවුන්ට හිමිවිය. ලෝකයේ ශ්‍රේෂ්ඨතම උතුම් දෙයක් කෙනෙකුට හිමිවන්නේ නම් ඒ ඒක් වරකි. නමුත් ඒ කියමන බොරුවක් බවට පත් කරවමින් නැවතත් 1911 දී රේඩියම් හා පොලෝනියම් සොයාහැනීම වෙනුවෙන් රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් ඔවුන් පුදනු ලැබීය.

මෙහිදී පොලෝනියම් නාමය පෝලන්තය සිහිවීම සඳහා යෙදුනි. ඉතිහාසය තුල දෙවරක්ම නොබෙල් ත්‍යාගයකට හිමිකම් කී එකම විද්‍යාඥවරිය වූයේ ඇයයි. ඇය එතරම්ම වාසනාවන්ත කාන්තාවකි. දිරිය දියණියකි. නමුත් ඒ වාසනාවට සමාන්තරව අවාසනාවේ මරණයද ඇය සොයා පැමිණියේය. දිගුකලක් විකිරණශීලී මූලද්‍රව්‍ය වලට නිරාවරණය වීම හේතුවෙන් ඇය ලියුකේමියා නම් සුව කල නොහැකි පිළිකා රෝගයට බඳුන් විය. මිනිසුන්ගේ අභියෝග වලින් මුලු ජීවිතයම සොයාගත් ඇයට ස්වභාව ධර්මයේ අභියෝගවලට පිටින් යාමට නොහැකි විය. මේ නිසාම ඇයට ජීවිතය හැර යන්නට බල කෙරුණි. ඇය මිය ගියාය. ඒ ඔබ සහ මම ජීවත් කරවීම සඳහා කල අරගලය වෙනුවෙනි.

පෝස්ටර් බැනර් අරගල වලින් ජීවිතය අර්ථ සම්පන්න කරගත් හැකියැයි විශ්වාස කරනු ලබන නූතන පරපුරට ඇය සතු අභිමනය හා ආත්ම විශ්වාසය බලගතු අතුල් පහරකි.

පසුවදන :

ලෝකයේ වඩාත් බලගතු,භයානක අවිය විකිරණශීලී අවියයි. මාරි නම් වූ සුන්දර කාන්තාව ගනුදෙනු කලේ එම බලගතු,භයානක අභියෝගය සමගිනි. අවසානයේදී ඇය මරණය අබියස පරාජය ලබාගත්තාය. ජීවිතය අබියස ජයග්‍රහනය ලබා ගත්තාය....

9 comments:

පිස්සා said...

ඒක ඇත්ත.. ඔය පෝස්ටර් උස්සන්, යටි ගිරියෙන් කෑ ගහ ගහ, කාලේ කාගෙන මිලියන ගානක් නාස්ති කරන කාන්තා සංවිධාන වල නෝනාලාට පුලුවනි, ඔය වියදම් වෙන සල්ලී වලින් දුක් විදින ගෑනුන්ගේ පවුල් 100ක් විතර ගොඩ දාන්න...

මාරි ක්‍යුරි ගැන නම් කියලා වැඩක් නෑ,, හැමෝන්ටම ආදර්ශයක්...

sajithdilshan said...

කොහෙද ඉතින් ඔය බොහෝ නෝනලාගෙ මොළේ හැඳිමිටේ තරම්ලුනෙ අයියේ.. ඒගොල්ලන්ට ඕවා තේරෙන්නෙ නෑ. ඒගොල්ලෙ ඔය ස්ට්‍රයික් කොරන්නෙත් ෆැෂන් එකට නොවැ :D

indik said...

කතාව සහතික ඇත්ත.
හොඳ ලිපියක්...

රවා said...

මෙ බලු මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැහැ. හැම දෙම පිටින් ගෙනල්ලා හයිකරලා අපි තමයි ඉන්ජිනෙරුවො කියලා කියන්නෙ. මුකුත් හොයා ගන්නෙ නැහැ. එ මදිවට නැනො ලැබ් එකකුත් පටන්ගන්න යන්නෙ. එ වුනත් යකඩ උනු කරන තැන කිපයයි ලංකාවටම තියන්නෙ. එ මිනිස්සු මුලු ජිවිත කාලයම කැප කරලා ජිවිතෙන් වන්දි ගෙව්වෙ අනාගතෙ ඉපෙදෙන පරම්පරා වල ජිවිත සැපවත් කරන්න. අපෙ මිනිස්සු මෙ මොකද කරන්නෙ කියලා දකිද්දිත් ලොකු වෙදනාවක්. සිංදුවක් ලියලා, නාට්‍යක් කරලා, පොඩි උපකරනයක් හදලා, විකුනලා කියක් හරි හම්බකර ගන්නවා වෙනුවට රට කන බල්ලන්ගෙ ඇට ලෙවකාලා රජයෙ ජොබ් එකකට පැනගෙන අනිත් උන්ටත් කටු ගහන බල්ලො ටිකක් තමයි. ඉන්නෙ.

Viyanasl said...

මතකයේ හුඟක් ඈතට ගිහින් හිටපු මාරි කියුරිව මතක් කරල දුන්නට හුඟක් පිං.

sajithdilshan said...

හික්ස්... අයියෝ ඕක මොකක්ද :D ;)

sajithdilshan said...

බොහෝම ආවේගශීලීව වගේ කමෙන්ට් එක දාලා තියෙන්නෙ. :) කොහොම උනත් කතාව බොහෝ දුරට ඇත්ත.

මධූ වීරකෝන් said...

අති විශිෂ්ටයි......

sajithdilshan said...

බොහෝම ස්තූතියි අක්කී... :D

Post a Comment